නිශ්කාශන වාර්තාවලින් පොලිස් දෙපාර්තමේන්තුවට මාසිකව රුපියල් කෝටි 11ක ආදායමක්: වාර්තා ලබා ගැනීමට මසකට අධික කාලයක් ගතවන බවට ජනතාවගෙන් චෝදනා
විදෙස්ගත වීම සඳහා පොලිස් නිශ්කාශන වාර්තා ලබා ගැනීමට අය කරන මුදල වැඩි කිරීමත් සමග පොලිස් දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම රුපියල් කෝටි 11කට අධික බවට වාර්තා වනවා.
එවැනි ආදායමක් ලැබුණ ද මෙතෙක් එය පහසුවෙන් ලබා ගැනීමට නොහැකි බවටයි ජනතාව චෝදනා කරන්නේ.
මෙවැනි වාර්තාවක් සතියක් හෝ සති දෙකක් තුළ ලබා ගැනීමට හැකි වුවද ඇතැම් පොලිස් ස්ථානවල ක්‍රමවත් පරිගණක පද්ධතියක් නොමැතිකමින් ඒ සඳහා මසකට අධික කාලයක් ගතවන බවට තොරතුරු වාර්තාවනවා.
මෙම වාර්තා ලබා ගැනීමේදී මිට පෙර අය කළ මුදල රුපියල් 1,530ක් වුවද එය මේ වනවිට රුපියල් 4,080ක් දක්වා වැඩි කර තිබෙනවා.
සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ මෙම ගාස්තුව වසර තුනකට වරක් සංශෝධනය කිරීමයි.
එහෙත් අවසන් වරට මෙම ගාස්තුව සංශෝධනය කර ඇත්තේ 2018 වසරේදීයි.
ඒ අනුව 2021 වසරේදී මෙම ගාස්තුව සංශෝධනය විය යුතුව තිබුණ ද කොවිඩ් වසංගතයත් සමග එවැනි සංශෝධනයක් සඳහා මුදල් මණ්ඩලයෙන් ඉල්ලීමක් නොකළ බවයි පොලිස් මුලස්ථානයේ පරිපාලන අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ලංකා රාජිනි අමරසේන මහත්මිය පැවසුවේ.
තැපැල් ගාස්තුව, කඩදාසි ඇතුළු ද්‍රව්‍ය සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවන බැවින් පොලිස් නිශ්කාශන වාර්තා ලබා ගැනීමේදී අය කරන මුදල මෙලෙස වැඩි කිරීමට සිදු වූ බවද අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළා.
පොලිස් නිශ්කාශන වාර්තා ලබා ගැනීම සඳහා දිනකට පුද්ගලයින් 900කට වැඩි සංඛ්‍යාවක් අයදුම් කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ලංකා රාජිනි අමරසේන මහත්මිය සඳහන් කළා.