මොරටුවේ සුසානයකින් කිරිගරුඬ ප්‍රතිමා ඉස්සූ 03 දෙනෙකු අත්අඩංගුවට: වෛද්‍යවරියකගේ රියදුරාත් ඒ අතර

MonaraMonara

මොරටුව - කඩොලාන ශාන්ත අන්තෝනි කතෝලික දෙව් මැදුරට අයත් සුසාන භූමියේ 1914 වර්ෂයේදී ස්ථාපිත කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් කිරිගරුඬ පාෂාණයෙන් නිමවූ දේවදූත ප්‍රතිමාවක් රාත්‍රි කාලයේදී සොරකම් කළ පුද්ගලයින් 03 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග ඔවුන් විසින් සොරකම් කරන ලද කිරිගරුඬ පිළිම දෙකක්, ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් සහ මෝටර් රථයක් මොරටුමුල්ල පොලීසිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් විසින් සුසාන භූමිය අවට සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව රාත්‍රි කාලයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඒ ආසන්න දේවස්ථානයට අයත් සුසාන භූමියෙන් මෙවැනිම ආකාරයේ කිරිගරුඬ දේවදූත ප්‍රතිමාවක් සොරාගෙන යන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව වැඩිදුරටත් රථයේ අංකය ඔස්සේ විමර්ශන සිදු කිරීමෙන් පසු මෝටර් රථය කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ කුලියට ලබාදෙන ආයතනයක් විසින් ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරියකගේ භාවිතය සඳහා කුලී පදනම මත ලබාදී ඇති එකක් බවට තහවුරු කරගෙන ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඇය පොලිස් ස්ථානය වෙත කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෛද්‍යවරියගේ රියැදුරු විසින් මෙම සොරකම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.