Novak Djokovic ට රන් වරමක් ?: Cincinnati විවෘත ටෙනිස් ශූරතාවේ අවසන් මහ සටනට Carlos Alcaraz සමගින්
සර්බියානු ජාතික Novak Djokovic ට සිය ක්‍රීඩා ජීවිතයේ රන් වරමක් හිමිව ඇති බවට විදෙස් ක්‍රීඩා විචාරකයින් වාර්තා කරනවා.
ඒ තමන් ලෝක ටෙනිස් ශූරතා තරගාවලියක අවසන් මහ සටනක දී ළාබාලතම තරුණ ක්‍රීඩකයෙකු අබියස දී ලද පරාජයෙහි වාරුව ගැනීමටයි.
එනම් සරලව කිවහොත් මේ දිනවල අමෙරිකාවේ පැවැත්වෙන Cincinnati විවෘත ටෙනිස් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට නොවැක් හට සම්මුඛ වීමට සිදු වන්නේ ස්පාඤ්ඤ ජාතික ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන සිටින තවමත් 20 හැවිරිදි වියෙහි පසුවන Carlos Alcaraz සමගිනුයි.
මෙම අවසන් මහා තරගය නොවැක්ට සේම අල්කරාස්ට සිය වෘත්තීය ක්‍රීඩා ජීවිතයේ අතිශය සුවිශේෂී ස්ථානයක් ගන්නා බවත් වාර්තා වනවා.
ඊට හේතුව ජූලි මස අවසන් වූ ලෝක ශූර විම්බල්ඩන් ශූරතා තරගාවලියේ දී කිසිදාක නොවූ විරූ ආකාරයක පරාජයක් මෙම යොවුන් වියෙහි අල්කරාස් අබියසදී නොවැක් ජෙකොවික්ට වැළඳ ගැනීමට සිදු වීමයි.
එම නිසා ගෝලීය ටෙනිස් විචාරකයින්ගේ මතය වන්නේ සිය ක්‍රීඩා දක්ෂතාව යළිත් ගම්‍ය කරලමින්, කිසිදාක නොවැක්ට අල්කරාස්ව පැරදිය නොහැකි බව ලෝකයාට පෙන්වීමට මෙය එක් අතකින් ස්පාඤ්ඤයේ ළාබාලතම දක්ෂයාට කදිම අවස්ථාවක් වන අතර, විම්බල්ඩන් ශූරතාව මගහැරුණු පළිය ගැනීමට නොවැක්ට ද මෙය අතිශය තීරණාත්මක තරග වටයක් වනු ඇති බවයි.
ඊයේ දිනයේ දී Cincinnati ටෙනිස් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වුණා.
පෝලන්තයේ Hubert Hurkacz ව පරාජයට පත් කරමිනුයි අල්කරාස් මෙලෙස අවසන් මහ තරගයට තේරී පත් වුණේ.
ඉන් අනතුරුව දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේ දී ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැන සිටින සර්බියාවේ නොවැක් හමුවේ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජයට පත් වුණේ, නොවැක්ව සින්සින්නාටි විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහ තරගයට ඇද දමමින්.
මෙම අතිශය තීරණාත්මක මොහොත ගැන නොවැක් සඳහන් කළේ; සිය ක්‍රීඩා ජීවිතයේ තමන්ට ඇති අවසාන සහ එකම අභියෝගය අල්කරාස්ව පරාජයට පත් කර දැමීම බවයි.
36 හැවිරිදි වියෙහි පසුවන නොවැක් ජෙකොවික් යනු සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියක පැරණිතම ටෙනිස් ශූරයා වන අතර, මීට පෙර 35 වියෙහි පසුවුණ කෙන් රොස්වෝල් සින්සිනාටි ශූරතාවක් ලබා ගත්තේ 1970 වර්ෂයේ දී බවයි වාර්තා වන්නේ.
නොවැක් මීට පෙර මෙම විවෘත ටෙනිස් ශූරතාව 2018 දී සහ 2020 දී දිනා තිබෙනවා.
කොවිඩ් එන්නත ලබා නොගැනීමේ තත්ත්වය හේතුවෙන් මීට පෙර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලි සේ ම සෙසු ජාත්‍යන්තර තරග නොවැක්ට අහිමි වූ අතර, මෙවර සින්සිනාටි තරගාවලියට නොවැක් මුහුණදෙන්නේ එම ප්‍රශ්නවලින් අනතුරුව ප්‍රථම වතාවටයි.
එමෙන්ම අගෝස්තු 28 වැනි දින අමෙරිකාවේ ආරම්භ වීමට නියමිත 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව වෙනුවෙන් ද ජෙකොවික් වෙනුවෙන් ලංසු තැබෙනු ඇති.
මේ අතර ලොව ළාබාලතම ටෙනිස් ශූරයා වන අල්කරාස් සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහ සටනට එක් වන්නේ පළමු වරට ද වනවා.
අවසන් මහ තරගය අද රාත්‍රියේ දී පැවැත්වෙනු ඇති.