Shreyas Iyer ට යළිත් කොන්දෙ කැක්කුම ඇවිළෙයි: සුළු ආබාධයක් ඇති රාහුල්ව අයියර් වෙනුවට පිටියට

MonaraMonara

ඡායාරූප සහ මූලාශ්‍ර - www.espncricinfo.com

ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු ලෙස සැලකෙන Shreyas Iyer හට අද පැවැත්වෙන ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ පකිස්තානයට එරෙහි තරගය අහිමි ව තිබෙනවා.

තරගය අහිමි වීම පමණක් නොව, ඒ හේතුවෙන් ඔහුව අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමෙන් ද ඉවත් කිරීමටයි එරට ක්‍රීඩා තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ.

අයියර් හට දීර්ඝ කාලයක සිට පැවති කොන්දේ කැක්කුම යළිත් මතුව ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ඔහුට ක්‍රිකට් පිටියට වසරකට ආසන්න කාලයක් එක්වන්නට සිදු නොවුණේ ද, මෙම ආබාධා තත්ත්වයට අදාළව ශල්‍ය කර්මයක් සිදු කිරීම හේතුවෙන්.

නමුත් ශල්‍ය කර්මය සාර්ථක වී, ක්‍රමයෙන් සුව අතට අයියර් පත් වීම හේතුවෙන් මෙවර ආසියානු කුසලානයට මෙන් ම ලෝක කුසලානයට ද ඔහුගේ නම ඇතුළත් කෙරුණා.

එහෙත් අද පැවැත්වෙන තරගය සඳහා එක්වීමට පෙර සිදු කළ පුහුණු සැසියක් අතරතුර දියි අයියර් හට යළිත් කොන්දේ වේදනාව ඇතිව තිබෙන්නේ.

මේ හේතුවෙන් ඔහුව විවේක ගන්වා ඇති අතර, ආබාධ තත්ත්වයකින් පසු වූ කේ. එල්. රාහුල්ව අයියර් වෙනුවට කණ්ඩායමට කැඳවා තිබෙනවා.

කෙසේවෙතත් රාහුල් ද පූර්ණ සුවයට පත් නොවීම හේතුවෙන් මෙලෙස අයියර් වෙනුවට රාහුල්ව කණ්ඩායමට එක් කිරීම බලහත්කාර වෙනසක් ලෙසටයි ඉන්දීය කණ්ඩායම් නායක රෝහිත් ශර්මා අර්ථකථනය කර ඇත්තේ.

රාහුල්ගේ සුපුරුදු පිතිකරණ ස්ථානය අංක 05 වුව ද, රාහුල් අද පිටියට පැමිණෙන්නේ, සිව්වැනි පිතිකරුවා ලෙසයි.

පිතිකරණයට කෙසේවෙතත් ආබාධයක් මත සිටින රාහුල් හට කඩුලු රැකීම සඳහා ශාරීරික යෝග්‍යතාවෙන් පසුවන්නේ දැයි යන්න පිළිබඳ ව තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්.