LPL අද තරගය දිනුවත් දිනුම්, පැරදුණත් දිනුම්: දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි තරගය රාත්‍රී 7.30ට

MonaraMonara

Photo : twitter

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) 19 වැනි තරගය දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි අතර අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය තරගාවලියේ අනෙකුත් කණ්ඩායම්වලට එතරම් බලපෑමක් නොකරන්නේ මේ වනවිට Qualifier තරග සඳහා මෙම කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබා ඇති නිසා ය.

මේ වනවිට තරග 07කට මුහුණදී ඉන් තරග 05ක් ජයගෙන තරග 02ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 10ක් ලබා DAMBULLA AURA කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද තරග 07කට සහභාගී වී ඉන් තරග 04ක් ජයගෙන තරග 03ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 08ක් ලබා B-Love Kandy කණ්ඩායම දෙවැනි ස්ථානය ද ලබා සිටියි.

මෙවර තරගාවලියේ මෙම කණ්ඩායම් දෙක මීට පෙර හමු වූ අවස්ථාවේ එම තරගය කඩුලු 07කින් ජයගත්තේ B-Love Kandy කණ්ඩායමයි.

DAMBULLA AURA කණ්ඩායම අවසන් තරග 05 ගත් කළ අඛණ්ඩව තරග 04ක් ජයගෙන සිටින අතර, B-Love Kandy කණ්ඩායම අවසන් තරග 05 තුළ දී අවසන් තරගය කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 09කින් පරාජයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් ද්විත්වයම අවසන් තරග 05 තුළ දී පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණි.

මෙම කණ්ඩායම් දෙකේ පිතිකරුවන්ගේ දක්ෂතා සලකා බලන කල්හි B-Love Kandy කණ්ඩායමේ වනිඳු හසරංග සහ ෆකර් සමාන් යන පිතිකරුවන්ගෙන් ප්‍රවේසම් විය යුතුය.

වනිඳු ,මේ වනවිට තරග 07ක දී ලකුණු 193ක් ලබමින් සිය සුපුරුදු පිතිකරණ රිද්මයට පැමිණ ඇති අතර, Zaman තරග 05ක දී ලකුණු 148ක් රැස්කරගෙන තිබෙනවා.

අවුරා පිතිකරුවන් දෙසට අවධානය යොමු කළහොත් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස්ගේ පිතිවලට කතා කිරීමට අවස්ථාව ලබා නොදිය යුතුය.

අවිශ්ක ප්‍රනාන්දු මේ වනවිට තරග 07ක දී ලකුණු 174ක් ලබා සිටින අතර, නායක කුසල් මෙන්ඩිස් තරග 09ක දී ලකුණු 166ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී කණ්ඩායම් ද්විත්වයේම පන්දු යැවීම උසස් මට්ටමක පවතින බව කිව යුතුය.

B-Love Kandy කණ්ඩායමේ නායක වනිඳු හසරංග තරග 07කදී කඩුලු 10ක්ද ඉසුරු උදාන තරග 07කදී කඩුලු 09ක්ද බිඳ හෙළා තිබෙනවා.

DAMBULLA AURA කණ්ඩායමේ නූර් අහ්මඩ් තරග 09කදී කඩුලු 09ක්ද බිනුර ප්‍රනාන්දු තරග 06කදී කඩුලු 07ක්ද දවාගෙන සිටිනවා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් ද්විත්වයේම මෙතෙක් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දස්කම් නොදැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් වනවා.

ඔවුන්ගේ පිත්ත මෙන්ම පන්දුව ද ක්‍රියාත්මක වුවහොත් එය තරගයේ ජයග්‍රහණයට කෙසේ වෙතත් තරගාවලියේ ජයග්‍රහණයට අවශ්‍ය මග පාදනවා ඇත.

B-Love Kandy කණ්ඩායමේ එවැනි පිතිකරුවන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් හැඳින්විය හැකි අතර, පන්දු යවන්නන් ලෙස මුජීබ් උර් රහ්මාන් සහ නුවන් ප්‍රදීප් පෙන්වාදිය හැකිය.

DAMBULLA AURA කණ්ඩායමේ එවැනි පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා, මැතිව් වේඩ් සහ ධනංජය ද සිල්වා හැඳින්විය හැකි අතර, පන්දු යවන්නන් ලෙස හසන් අලී සහ ලුන්ගි න්ගිඩි හඳුන්වා දිය හැකිය.

කෙසේ වෙතත් මේ සියලු කරුණු සමෝධානය කර බලද්දී අද තරගය හඳුන්වාදීමට හැකිවන්නේ කණ්ඩායම් දෙකම දිනුවත් දිනුම්, පැරදුණත් දිනුම් යන්නයි.

ඊට හේතුව වනුයේ මෙම කණ්ඩායම් ද්විත්වය මේ වනවිටත් Qualifier තරග සඳහා සුදුසුකම් ලබා ඇති නිසාය.

Photo : Google Photo : Google

Photo : Google