යොවුන් ක්‍රීඩිකාවන්ගේ විනය විරෝධී හැසිරීමට මගේ සම්බන්ධයක් නැහැ - කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකාරිය: දකුණු කොරියාවේදී මත්පැන් පානය කරමින් විනය විරෝධීව හැසිරුණු යොවුන් දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ හැසිරීමට තමාගේ සම්බන්ධයක් නොමැති බව කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකරු අමල්කා වන්නිතිලක මහත්මිය පවසනවා.

MonaraMonara

ඡායාරූපය - thepapare.com

දකුණු කොරියාවේදී තරග අතරතුරදී මත්පැන් පානය කරමින් විනය විරෝධීව හැසිරුණු යොවුන් දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ එම හැසිරීමට තමාගේ සම්බන්ධයක් නොමැති බවත්, තමන් ඊට අනුබල නොදුන් බවත් කනිෂ්ඨ දැල්පන්දු පුහුණුකරු අමල්කා වන්නිතිලක මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ ක්‍රීඩිකාවන්ගේ මෙම හැසිරීම තමන් අනුමත නොකරන බවත් ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් පරිපාලනය තමා සිදු නොකළ බවත්ය.

“අපිට තරගාවලියට යාමට පෙර සිටම ගොඩාක් ප්‍රශ්න තිබුණා. මට හොඳ කණ්ඩායමක් ලබාදුන්නේ නැහැ වගේම ක්‍රීඩිකාවන් කළමනාකරණය කිරීමට පත්කළ තනතුරුද නිසි පරිදි සිදුවුණේ නැහැ. මම මගේ උපරිමයෙන් රට වෙනුවෙන් මහන්සි වෙලා ලංකාව 03 වැනි තැනට ගෙනාවා. මට මීට වඩා දෙයක් කරන්න තිබුණා මගේ ප්‍රශ්න ටික විසඳුණා නම්. එහෙත් එහෙම වුණේ නැහැ” යනුවෙන් ඇය පවසා සිටියා.

මෙම තරගාවලියේදී යොවුන් ක්‍රීඩිකාවන්ට තරග අතරතුර මත්පැන් පානය කිරීමට අමතරව නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පිටතට යාම සහ ඊට උත්සාහ කිරීම, පිටස්තර පුද්ගලයින් සමග තරගාවලිය පැවැත්වෙන අතරතුර සබඳතා පැවැත්වීම, අසභ්‍ය අයුරින් හැසිරීම, කළමනාකරුට සහ නිලධාරීන්ට අවනත නොවීම සහ අසභ්‍ය ඡයාරූප ළඟ තබා ගැනීම යනාදී වශයෙන් චෝදනා එල්ල වී තිබුණා.

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ ආරම්භක තරගයෙන් සත්කාරක දකුණු කොරියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 93-08ක් සහ දෙවැනි තරගයෙන් බෘෘනායි කණ්ඩායමට එරෙහිව ලකුණු 82-16ක දැවැන්ත ජයග්‍රහණ වාර්තා කළද, ප්‍රබල සිංගප්පූරුව හමුවේ ලකුණු 51-29ක් ලෙස දරුණු පසුබෑමකට ලක්වුණා.

එම තරගයට පෙරදින ක්‍රීඩිකාවන් මෙලෙස මත්පැන් පානය කරමින් විනෝද වීම නිසා එම තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා.

කෙසේ වෙතත්, චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 83-17ක ජයක් ලබාගත්තා.

මීට අමතරව අවසන් පූර්ව තරගයේදී මැලේසියාවට එරෙහි තරගය ලකුණු 77-36ක් ලෙස යලිත් දරුණු පරාජයකට ලක්ව අවසන් තරග වරම් අහිමි කරගත්තා.

මෙම තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලක් වියදම් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ පැවති තත්ත්වයෙන් ඔබ්බට (03 වැනි ස්ථානයෙන්) තම දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම කණගාටුවට කරුණක්.

කෙසේ වෙතත්, රට දිනවනවා වෙනුවට ක්‍රීඩිකාවන් එහි ගොස් තිබුණේ විනෝද චාරිකාවක් බව නම් දැන් පැහැදිලියි.