අලුත් වුණු දඹුලු පිටියේ අසිරිය විඳින්න හෙට එන්න: ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පහසුකම් රැසක්

MonaraMonara

පහසුකම් රැසක් අන්තර්ගත කරමින් ප්‍රතිසංස්කරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර හෙට (17දා) ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 03කින් යුත් විස්සයි20 තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7.00ට ආරම්භ වනවා ඇත.

නවීකරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකාවේ ප්‍රථම නවීනතම LED නව ආලෝක ධාරා පද්ධතියක්, ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්, ජල ප්‍රතිකාර ඒකකයක් සහ ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකයක් ඇතුළත් කර තිබෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් රැසක් සමගින් අලුත්වූ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා විවෘත කෙරුණා.

එම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු, ඉඩම්, සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරු හා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභිකයින් එක්ව සිටියා.

මෙම විවෘත කිරීමේ උළෙලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීණ තාක්ෂණය ඔස්සේ පුහුණුවිය හැකි ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයක්, නව මාධ්‍ය මධ්‍යස්ථානයක් හා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය වැඩිදියුණු කිරීම උදෙසා මුල්ගල් තැබීමද සිදු කළා.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිදුවන මෙම දැවැන්ත සංවර්ධන කටයුතු හරහා වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ කාන්තා/පිරිමි දෙඅංශයේම ක්‍රිකට් වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරනවා.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිතව පවත්වාගෙන යන දිස්ත්‍රික්, පළාත් සහ ජාතික සුපර් ලීග් (NSL) වැනි සියලුම කණ්ඩායම්වලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණුවීමක් ද මෙමගින් සිදුවනු ඇත.

MonaraMonara