පළමු ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට: නේතන් ලයන් ටෙස්ට් කඩුලු 500 සමාජයට

MonaraMonara

Photo : Getty

පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 360කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඒ අනුව තරග 03කින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

මෙම ටෙස්ට් තරගය අද (17දා) ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී නිමාවට පත් වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 450ක ඉලක්කය හඹාගිය පාකිස්ථානයට රැස්කරගත හැකිවූයේ ලකුණු 89ක් පමණි.

එහිදී සෞඩ් ෂකීල් ලකුණු 24ක් රැස්කරගත් අතර, පාකිස්ථානු කණ්ඩායමේ පිතිකරුවන් 08 දෙනෙකුටම ලකුණු 10 සීමාවට පැමිණීමට නොහැකිවීම සුවිශේෂිය.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් (3/31) සහ ජෝෂ් හෙසල්වුඩ් (3/13) කඩුලු 03 බැගින් දවාලීමට සමත්වුණා.

මෙම තරගයේදී සිය 500 වැනි කඩුල්ල දවාගැනීමට ඔස්ට්‍රේලියානු දඟපන්දු ක්‍රීඩක නේතන් ලයන් සමත්වුණා.

ඒ පාකිස්ථානු දෙවැනි ඉනිමේදී ෆාහිම් අෂ්රෆ්ව ලකුණු 05කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි.

මේවනවිට ලයන් තරග 123කදී ටෙස්ට් කඩුලු 501ක් දවාගැනීමට සමත්ව සිටිනවා.

ලයන් එවන් දස්කමක් කළ ලොව 08 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වන අතර, එවැනි දස්කමක් කළ තෙවැනි ඔස්ට්‍රේලියානුවා සහ එවැනි දස්කමක් කළ දෙවැනි ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වනවා.

මීට පෙර ඔස්ට්‍රේලියානු දඟපන්දු ක්‍රීඩක ශේන් වෝන් සහ වේගපන්දු ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ටෙස්ට් කඩුලු 500 සමාජයට පිවිස තිබුණා.

එමෙන්ම ලයන් සැලකෙන්නේ ටෙස්ට් කඩුලු 500ක් දවාගත් 04 වැනි දඟපන්දු යවන්නා ලෙසයි.

සිය පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව පන්දුවාර 113.2කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 487ක්ක් රැස්කර ගත්තා.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තා.

ඒ අනුව ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 126ක් එක්කළා.

එම සබඳතාව බිඳ වැටුණේ උස්මාන් කවාජා ලකුණු 41කට දැවී යාමත් සමගිනි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වගකීම තම කර මත පටවාගත් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් වේගවත් ලකුණු 164ක් රැස්කරගත්තේ හතරේ පහර 16ක් සහ හයේ පහර 04ක් එල්ල කරමිනි.

මෙම ශතකය ඔහුගේ 26 වැනි ටෙස්ට් ශතකයයි.

මීට අමතරව ස්ටීවන් ස්මිත් ලකුණු 31ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 40ක් රැස්කර ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පසුපෙළ ශක්තිමත් කළ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් පන්දු 107කින් වේගවත් අර්ධ ශතකයක් (ලකුණු 91ක්) රැස්කරගත් අතර, ඇලෙක්ස් කේරි ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටෙස්ට් වරම් හිමි කරගත් ආමර් ජමාල් ලකුණු 111කට කඩුලු 06ක් දවාගත්තා.

ඊට පිළිතුරු ලෙස පාකිස්ථානු පළමු ඉනිම ලකුණු 271කට සීමාවුණු අතර, ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම කඩුලු 05කට ලකුණු 233ක් ලබා සිටියදී අත්හිටුවූවා.

පාකිස්ථානු කණ්ඩායම නව නායක ෂාන් මසූඩ් යටතේ මෙම තරගයට එක්වන අතර, පාකිස්ථානය වෙනුවෙන් කුරම් ෂෙශාඩ් සහ ආමර් ජමාල් ටෙස්ට් වරම් හිමි කරගත්තා.

තරගයේ වීරයා සම්මානය මිචෙල් මාෂ් දිනාගත්තා.