ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ සිව්වැනි තැනට ගංගුලිගෙන් 03ක්: මේ වෙලාවේ ක්‍රීඩකයින් නම්‍යශීලී විය යුතුයි
ඉන්දීය ක්‍රිකට් පිතිකරණ ලැයිස්තුවේ සිව්වැනි පිතිකරු වශයෙන් අවශ්‍ය නම් විරාත් කෝලි, ශ්‍රේයාස් අයියර්ට හෝ කේ.එල්. රාහුල්ට ක්‍රීඩා කළ හැකි බව හිටපු ඉන්දීය ක්‍රීඩක සෞරව් ගංගුලි පවසනවා.
ආසියානු කුසලානයට සහ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට නම් කර ඇති මෙම ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙකුට ඒ සඳහා අවස්ථාව පිතිකරණයෙහි සිව්වැනි තැනින් ලබාදීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හැකියාවක් ඇති බවයි ගංගුලි පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම යම් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළ යුතු හරිම ස්ථානය තෝරා ගැනීමේ දී ක්‍රීඩකයින් මීට වඩා නම්‍යශීලී විය යුතු බව ද හෙතෙම මතක් කර සිටිනවා.
මුම්බායි හි පැවති උත්සවයකට එක්වෙමිනුයි ගංගුලි මේ බව සඳහන් කළේ.
මෙම මස අග පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර ඇති ඉන්දීය කණ්ඩායම දෙස බලමින් ගංගුලි වැඩිදුරටත් සඳහන් කළේ රාහුල් සහ අයියර්ගේ පැමිණීම සිදුවන්නේ, දිගු කාලීනව පැවති ආබාධ සුව වීමෙන් පසුව බවයි.
එබැවින් ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ අංක 04 යනු අංකයක් පමණක් බවත්, එම ස්ථානයේ ඕනෑම කෙනෙකුට ගැලපෙන පරිදි ක්‍රීඩා කළ හැකි බවත් ගංගුලි පෙන්වා දී තිබෙනවා.
කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ආරම්භක පිතිකරුවෙකු ලෙස හෝ අංක 03 හෝ 04 ලෙස හෝ නිශ්චිත ව ස්ථානගත ව උත්පත්තිය නොලබන බවත්, තමන් ද එක්දින ක්‍රිකට්වල මැදපෙළ සිට පළමු පෙළ තෙක් පැමිණ ක්‍රීඩා කළ අයෙක් බවත්, ඒ සඳහා ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු වන සචින් තෙන්දුල්කාර් පවා තමන්ට අවශ්‍ය තැන දී අවස්ථාව හිමි කර දුන් බවත් සෞරව් ගංගුලි වැඩිදුරටත් කියා සිටිනවා.
එම නිසා ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ අංක 04 හුදෙක් අංකයක් පමණක් බැවින් ආසියානු කුසලානයේ දී මීට පෙර කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අයියර් සහ කෝලි වෙනුවෙන් වුව ද ඉඩක් ඕනෑම අවස්ථාවක වෙන් කිරීමේ හැකියාවක් පවතින බැවින්, දක්ෂතා රැසකින් සපිරි ඉන්දීය සංචිතය අදාළ තීරණ මීට වඩා වගකීමෙන් යුතුව ගත යුතු බවයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගංගුලිගේ වැඩිදුර මතය වන්නේ.