ලොව වයස්ගත ම කායවර්ධන ක්‍රීඩකයා: ''සෞඛ්‍ය සම්පන්න දිවියක රහස දිනපතා ව්‍යායාම කිරීමයි'' - Jim Arrington

MonaraMonara

Jim Arrington ඡායාරූප සහ මූලාශ්‍රය - www.dailymail.co.uk

සෑම දිනක ම නිවැරදි ව ව්‍යායාම් කටයුතුවල නිරත වෙමින් ජීවත් වීම තමන්ගේ සෞඛ්‍ය මට්ටම ඉතා උසස් මට්ටමක රඳවා තබා ගැනීමට මහෝපකාරී වී ඇති බව ලොව පැරණිතම මෙන් ම වයස්ගත ම කායවර්ධන ක්‍රීඩකයා පවසනවා.

Jim Arrington නමැති මෙම වයස්ගත කායවර්ධන ක්‍රීඩකයා මේ වනවිට පසුවන්නේ 90 හැවිරිදි වියෙහියි.

ලබන මාසයට ඔහුට වයස 91 ක් ලෙස සම්පූර්ණ වන අතර, ඊට පෙරාතුව www.dailymail.co.uk වෙබ් අඩවිය සමග එක්වෙමිනුයි ජිම් විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ.

ජිම් සඳහන් කර ඇත්තේ අදටත් ඔහුට රාත්තල් 250ක (115Kg) බරක් එසවීමේ හැකියාවක් පවතින බවයි.

අදටත් තමන් කායවර්ධන ශූරතා තරගාවලි වෙත එක්වෙමින්, ඒවායේ ජයග්‍රහණ වාර්තා කරන බව ද ජිම් පවසනවා.

MonaraMonara

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත වැසියෙකු වන ජිම් සඳහන් කරන්නේ, තමන් වයස අවුරුදු 70කට වඩා වැඩි කාලයක් ව්‍යායාම් කිරීම ජීවිතය බවට පත් කරගෙන ඇති බවයි.

සෞඛ්‍ය සම්පන්න මෙන් ම, පෝෂ්‍යදායී ආහාර ලබා ගනිමින්, මේදය වඩවන ආහාරපාන ගැනීමෙන් මේ වනවිට තමන් බොහෝ දුරට වැළකී සිටින බවත්, මාංශ පේශීන් ගොඩනගා ගැනීමට කළ හැකි සෑම උත්සහායක් ම දරන බවයි.

ලොස් ඇන්ජලීස් නුවර දී 60 වසරකට ආසන්න කාලයක් තමන් බර ඉසිලීමේ ක්‍රීඩකයෙකු ලෙසට ද කටයුතු කළ බව ජිම් පවසනවා.

නිරන්තර ව්‍යායාම්වලට අමතරව සතියකට තෙවරක් ව්‍යායාම් ක්‍රීඩාගාරයකට ද යාමේ පුරුද්ද පවතින බව ද ජිම් වැඩිදුරටත් කියා සිටිනවා.

එමෙන්ම නිරෝගී සෞඛ්‍ය ජීවිතයකට වඩාත් වැඩියෙන් නින්ද ලබා ගැනීම ද සිය පූර්ණ සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ රහසක් බව ද ජිම් කියා තිබෙනවා.

ඩේලිමේල් වෙනුවෙන් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ලූක් ඇන්ඩෲස් නම් වූ වාර්තාකරු විසින් වන අතර, ඔහු හට ජිම් සිය ව්‍යායාම් ජීවිතය ගැන මෙවැන්නක් සඳහන් කර ඇති බවත් වාර්තා වනවා.

තමන්ගේ වයසෙහි පසුවන්නෙකුට සාමාන්‍යයෙන් කළ නොහැකි ආකාරයේ කටයුතු තමන්ට සිදු කළ හැකි බවත්, අදටත් පාපැදි, යතුරුපැදි ආදිය වුව ද, වේගයෙන් පැදිය හැකි බව ද ජිම් කියා තිබෙනවා.

එමෙන්ම ව්‍යායාම්වලට අමතර ව තමන් සෑහෙන පියවර ප්‍රමාණයක් ඇවිද යන බවයි මෙම කායවර්ධන ක්‍රීඩකයා පවසා ඇත්තේ.