සතුන්ගෙන් සංකේතවත් වන රටවල් මෙන්න: බලන්න මෙතනින් කීයක් දැනගෙන හිටියද කියලා!

MonaraMonara

රටක් ලෝකයේ ප්‍රසිද්ධ වෙන්න ඒ රටේ මිනිස්සු ටික විතරක් හිටියාම මදි. ඒ - ඒ රටවල්වලට අනන්‍ය වුණු සත්තු නිසාත් ඔය කියන ප්‍රසිද්ධිය ලැබෙනවා. සත්තු ගැන කතා කළොත් ඇත්තටම ඒ රටේ මේ සතා ඉන්නවද නැද්ද, නැතිනම් සම්පූර්ණයෙන්ම කල්පිත සතෙක් ද කියන කතාව අදාළ වෙන්නේ නැහැ. සමහරවිට මේ සත්තු මේ රටට විතරක් ආවේණික නොවෙන්න වුණත් පුළුවන්. නමුත් සතාගේ නම කිව්වම මතක් වෙන්නේ ඒ රට. අන්න ඒ වගේ රටවල් කිහිපයක් ගැන දැන කියාගමු.

01. නවසීලන්තය – කිවි පක්ෂියා

කිවි පක්ෂියා කියන්නේ නවසීලන්තයේ ජාතික පක්ෂියා. ඒ වගේම නවසීලන්තයේ නිල නොලත් ජාතික සංකේතය වශයෙනුත් පිළිගන්නවා. අලංකාර කුරුළු ලෝකයේ ඉන්න අවලස්සන කුරුල්ලෙක් තමයි මේ. දැන් හැබැයි වඳවීමේ තර්ජනයට මුහුණ දීලා තමයි ඉන්නේ. ඒ නිසා නවසීලන්ත රජය මේ කුරුල්ලන් රැකගැනීමට පුදුමාකාර විදියට කැපවෙලා ඉන්නවා. හැඩය අතින් ගත්තොත් වූල් බෝලයක් වගෙයි. පියාඹන්න බැහැ. විවිධාකාරයේ කිවි පක්ෂි වර්ග ඉන්නවා. දුඹුරු සහ අළු වගේ වර්ණ පරාසයක තමයි මෙයාලගේ පාට තියෙන්නේ.

MonaraMonara

02. මොරිෂස් දූපත් – ඩෝඩෝ පක්ෂියා

වඳවෙලා ගියත්, රටක් ලෝකය හමුවේ තියපු නොම්බර එකේ කුරුළු රාජයෙක් තමයි ඩෝඩෝ පක්ෂියා. ඇත්තටම මේ කුරුල්ලා නොහිටින්න මොරිෂස් දූපත ගැන අදටත් සංචාරක ආකර්ෂණයක් දිනාගන්න තරම් කතාබහක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඩෝඩෝ පක්ෂියාට වුණ වින්නැහිය සිද්ධ කරේ මිනිස් සම්පත තමයි. කාගෙන්වත් කරදරයක් නැතුව අහිංසක විදියට හිටපු මේ කුරුල්ලන්ට හෙණ ගෙඩියක් වගේ මිනිස්සු පාත්වෙන්න ගත්තා. ජීවත් වෙන පරිසරයේ භවභෝග කඩාවඩාගෙන ගියා. දඩයම් කරන්න ගත්තා. ඒ මදිවට නැව්වලින් වඳුරෝ, මීයෝ වගේ එපා කරපු සත්තු ගොඩබහින්න පටන් ගත්තා. උන් ඩෝඩෝ පැටවුන්ව ආහාරයට ගත්තා. ඒ නිසා මේ කුරුළු වර්ගය වඳවෙලා ගියා.

MonaraMonara

03. චීනය – පැන්ඩා

චීනය කියන නම ඇහුණු පමණින් තඩිම - තඩි පැන්ඩෙක් සිහියට ආවොතින් ඒකෙ වැරැද්දක් නැහැ. චීනයට ආවේණික මේ හුරුබුහුටි සත්ත්වයා ලෝක වන සත්ත්ව අරමුදලේ ලාංඡනය බවටත් පත් වෙලා තියෙනවා. ජීවත් වෙන්නේ උණ කැලෑවල විතරයි, මොකෝ ඉතින් කන්නේ එච්චරමනේ. චීනය තමන්ගේ ආදරණීය සත්වයා සුරකින්න මහා පරිමාණ විදියට වෙහෙසෙනවා. චීනෙට මේ සතා මොන තරම් වටිනවද කියන එක මනින්න පුළුවන් එක සංකල්පයක් තමයි “Panda Democracy” කියන්නේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී අන් රටට පැන්ඩා කෙනෙක් ත්‍යාගයක් වශයෙන් දීමයි එතනදී සිදු කෙරෙන්නේ.

MonaraMonara

04. ඔස්ට්‍රේලියාව – කැන්ගරුවා

‍ඔස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා තමයි කැන්ගරුවා. මේ සත්ත්වයාගෙන් ඔස්ට්‍රේලියාව නිරූපණය වෙන බව අපිට කිහිප ආකාරයකින්ම දැකගන්න පුළුවන්. එකක් තමයි කාසි සහ මුදල් නෝට්ටුවල සඳහන් වී තිබීම. අනෙක සංචාරක කර්මාන්තය හා සම්බන්ධ හැම අවස්ථාවකම කැන්ගරුවෙක් ගැන සඳහන් වෙනවා. ඔස්ට්‍රේලියාවේ නිල ලාංඡනයේ පවා කැන්ගරුවා ඉන්නවා. මේ රටේ රග්බි කණ්ඩායම ලොව පුරා ප්‍රසිද්ධ “Wallabies” විදියට. කැන්ගරු පවුලටම අයත් සත්ත්ව විශේෂයක් විදියට වොලබි හඳුන්වන්න පුළුවන්.

MonaraMonara

05. ඉන්දියාව – බෙංගාල ව්‍යාඝ්‍රයා

Kaal චිත්‍රපටය බලපු අයට නම් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ මේ ව්‍යාඝ්‍රයාගෙයි ඉන්දියාවයි අතර තියෙන සම්බන්ධෙ ගැන. ඉන්දියාව පසුබිම් කරගෙන ලියවුණ “Jungle Book” කෘතියේ ඉන්න කොල්ලත් එක්ක හෙට්ටු වෙන්නෙත් බෙංගාල ව්‍යාඝ්‍රයෙක්. බිළාල පවුලේ අනෙක් සාමාජිකයන් එක්ක බලද්දී අමුතුම ගාම්භීර ගතියක් බෙංගාල ව්‍යාඝ්‍රයාගේ තියනවා. ඒකම ඇති ඉතින් ඉන්දියාවේ ජාතික සත්ත්වයා බවට පත්වෙන්න.

හැබැයි ඉතින් මෙයත් පැවැත්ම සම්බන්ධයෙන් තර්ජනයට ලක්වෙලා ඉන්නේ. හේතු ගොඩක් තියෙනවා. කඩොලාන ආශ්‍රිත පරිසරවල ජීවත් වෙන සත්තුන්ට පාරිසරික වෙනස්කම් නිසා ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනෙක වාණිජමය අරමුණු සඳහා දඩයම් කෙරෙනවා. ඔක්කොටමත් වඩා අපේ රටේ තියෙන අලි - මිනිස් ගැටුම වගේ එකක් එහෙත් තියෙනවා. කරදරයක් වේය කියන බියෙන් ව්‍යාඝ්‍රයාට අනතුරක් කරන්න තමයි මිනිස්සු බලන්නේ.

MonaraMonara

06. ස්පාඤ්ඤය – ගවයා

ජාතික සත්ත්වයාව හොම්බෙන් යවන මේ වගේ තවත් රටක් ලෝකයේ තියේද දන්නේ නැහැ. ගවයා මේ රටේ ජාතික සත්ත්වයා. ගව පොර සටන්වලට සෑහෙන විදියට ප්‍රසිද්ධියක් උසුලන්නෙත් ස්පාඤ්ඤයමයි. සංස්කෘතියේ කොටසක් විදියට දැන් අනාදිමත් කාලයක පටන් මේක සිද්ධ වෙනවා. මේ නිසාම රටේ ජනතාව අදහස් අතින් කොටස් දෙකකට බෙදිලයි ඉන්නේ. සමහරු තමන්ගේ ජාතික සත්ත්වයා භාවිත කරලා කරන මේ ක්‍රියාවට විරුද්ධයි. අනෙක් අය කියන්නේ ගවයා සහ මේ පොර නැතුව ස්පාඤ්ඤය කියන්නේ නිකංම නිකං පුස්සක් පමණක් බවයි.

MonaraMonara