ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමට ප්‍රතිජීවක ඖෂධයක්: මහජන අදහස් විමසීමටත් අමෙරිකාව තීරණය කරයි

MonaraMonara

doxycycline PEP ඡායාරූපය සහ මූලාශ්‍රය - CNN Health

ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා ඇතැම් පුද්ගලයින් ලිංගික ව එක්වීමෙන් පසු ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම සම්බන්ධයෙන් වන කෙටුම්පතක් නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) තීරණය කර තිබෙනවා.

ඊට අදාළ කෙටුම්පතෙහි නිර්දේශ අනුව ක්ලැමීඩියා, ගොනෝරියා, සහ සිපිලිස් නමැති ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම සඳහා අදාළ මාර්ගෝපදේශ මෙම කෙටුම්පතෙහි ඇතුළත් බවයි වාර්තා වන්නේ.

එය පසුගිය සඳුදා අන්තර්ජාලයට නිකුත් කර තිබෙන අතර, මීට ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ මාර්ගයක් ලෙස සෞඛ්‍ය සේවා සපයන්නන් හට අදාළ ප්‍රතිජීවක ඖෂධය නිර්දේශ කිරීම සලකා බැලීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා.

රෝග පාලන එක්සත් ජනපද මධ්‍යස්ථානය පැවසුවේ; යෝජිත මාර්ගෝපදේශවල පරමාර්ථය වන්නේ බැක්ටීරියා ලිංගාශ්‍රිත රෝග ආසාදන වැළැක්වීම සඳහා doxycycline PEP භාවිත කිරීම පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා යාවත්කාලීන සායනික මාර්ගෝපදේශ සැපයීම මෙහි අරමුණ බවයි.

'doxyPEP' ලෙස හඳුන්වන ක්‍රමය සඳහා යෝජිත මාර්ගෝපදේශ අදාළ වන්නේ පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින්ට සහ සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට පමණක් බවත් මෙහි දැක්වෙනවා.

CDC විසින් නොවැම්බර් 16 දක්වා මෙම ක්‍රමවේදයට උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් සහ සංවිධානවලින් යෝජනා සහ මහජන අදහස් ලබාගැනීම බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.

සීඩීසී හි ජාතික මධ්‍යස්ථානයේ HIV, වෛරස් හෙපටයිටිස්, ලිංගාශ්‍රිත රෝග සහ ක්ෂය රෝග වැළැක්වීමේ අධ්‍යක්ෂ වෛද්‍ය ජොනතන් මර්මින්, CNN වෙත ප්‍රකාශ කළේ;මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහා ඉදිරියට යාමට මහජන අදහස් ලබා ගැනීම අවශ්‍ය බවයි.

ඩොක්සිසයික්ලයින් යනු යමෙකු ආසාදනය වූ පසු බැක්ටීරියා ලිංගාශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන ඖෂධ කාණ්ඩයක්.

එය පශ්චාත්-නිරාවරණ රෝග නිවාරණය ලෙස හැඳින්වෙනවා.

කෙසේ වෙතත්, මෑත කාලීන පර්යේෂණවලින් පෙනී යන්නේ, අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසු පැය 72 ක් ඇතුළත පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් (Gay) අතර එවැනි ආසාදන වැළැක්වීම සඳහා ඖෂධයේ එක් 200mg මාත්‍රාවක් ප්‍රමාණවත් බවයි.

මෙය සමලිංගික කාන්තා පාර්ශ්වයට ද අදාළ වනු ඇති.