'මම කෙනෙක්ව ආශ්‍රය කරන්නෙ එයාගේ ලිංගික අවයව බලලා නෙවෙයි': දහසකුත් අපවාද අවලාද මැදින් ආ ප්‍රේමී.. අහස වන් පපුතුරක ඉතින් කිරි එරෙනව ද භූමී!
ඇය නමින් භූමි... භූමි හරේන්ද්‍රන්...
බොරැල්ල කාසල් වීදියේ මීට අවුරුදු 30කට විතර කලින් ඉපදෙනකොට 'භූමි' කියන්නෙ පුංචි කොලු පැටියෙක්.
මහා දිග කාලයක් යන්න කලින් භූමිත් නොදැන භූමිගේ 'ඇතුළේ' හිටපු 'ගැහැනියක්' එළියට එන්න පටන් ගන්නවා. භූමිට තේරෙනවා ඇය මනසින් තවදුරටත් 'පිරිමියෙක්' නොවන බව. ඉතින් ඈ සමාජයට නිරාවරණය වෙනවා 'ගැහැනියක්' විදිහට.
ඈටත් අනිත් 'සංක්රාන්තිකයින්ට' සමාන අභියෝග තිබුණා. බාධක තිබුණා. ඒත්..... ඈ ජීවිතේ පැදගෙන 'දිගු දුරක්' එනවා. (අත් නෑරම ආපු ගමනේ අවසානයේ ඈව මුලු ලෝකයක්ම දැන අඳුනගන්නවා!)
ඒත්.... 'ගැහැනු වෙස් ගත්තා' වුණත්... ඈටත් 'හීන' තිබුණා වෙන්නැති. ඈට ඒවා 'හැබෑ' කරගන්න බැරිවුණත්.... ඈත් හීන දකින්න ඇති, වෙන 'ගැහැනු' වගේම.
සැහැසිකම් මැද ගෙවුණු ජීවිතේකට පේවී
රහසිගත හද කොණක තිබිණි ද කිරි සුවඳ ගෑවී
දහසකුත් අපවාද අවලාද මැදින් ආ ප්‍රේමී
අහස වන් පපුතුරක ඉතින් කිරි එරෙනව ද භූමී..!
"විමල් අයියේ, මේ පින්තූරෙට කවියක් ලියන්න පුළුවන් ද? එහෙම වුණොත් ඒක මං වෙනුවෙන් ලියැවෙන පළවෙනි කවිය !"
ඇය වෙනුවෙන් ලිවීමි. (ඒක ලියලා තිබුණේවිමල් කැටිපෙආරච්චි..)
'මායා' චිත්‍රපට කතාවට සමානව 'භූමිගේ' ඇත්ත කතාවත් ඛේදයක් වුණා. ඈටත් සමාජය ඇතුළේ 'අවමන්' විඳින්න වුණා. හුඟක් උනුන්ගේ 'නින්දා අපහාස' වලට ලක්වෙන්නත් වුණා.
'සමාජෙන් අම්මලා අපහසුතාවයට පත්වුණා. මේ වගේ ටීවී ඉන්ටවීව් ගියාම මිනිස්සු කියන දේවල් එයාලට අහන්න වුණා. සාමාන්‍යයෙන් පවුලෙන් එන බලපෑම් ගණන් ගන්න කෙනෙක් නෙවේ මගේ අම්මා. ඒ තරම් දැඩියි එයා. අම්මාගේ සන්නිවේදන අඩු පරාසයක් තුළ යන්නෙ. නෑයෝ වුණත් බොහොම කිහිප දෙනයි. හැමෝම අපි එක්ක කතා කරන එක නැවත්තුවා. පවුලේ උත්සවවලට පවා කතා කළේ නෑ. සම්බන්ධකම් බිංදුවට ම නැවතුණා. දැන් හැමෝම ආදරෙන් කතා කරන තැනකට ඇවිත් තියනවා...'
ඈට කියන්න දිග කතාවක් තියනවා. 'මම කෙනෙක්ව ආශ්‍රය කරන්නෙ එයාගේ ලිංගික අවයව බලලා නෙවෙයි' කියලත් ඇය කියනවා.
ඇය ඒ ලෝකෙට ම කියන්න ගන්න කතාව හුඟක් උන්ට තාම තේරෙන් නෑ. ඒත් තවමත් ඈ කතාව 'කියමින්' ම ඉන්නවා.