'නියපොතු පාටකරන්න කොළඹ ආ ඥානක්කා සහ ගාඩ්එක දුන් පොලිටික්කා',ඥානක්කාගේ අද්භූත කතා වස්තුව (පස්වන කොටස): එකී 'දේශපාලන ගැත්තන්' රටට ලෝකයට පෙන්වමින් ඈ තමන් වෙතට එන 'සාමාන්‍ය ජනතාව'ත් මිථ්‍යාව තුළ ගිල්වන්නට වුණා.
'ඥනක්කා' නොහොත් 'ඥානවති' ගැන 'දිග කතා' කිහිපයකට පස්සෙදිත්, ඈ ගැන 'නොකියපු කතා' බොහෝමයක් 'දන්න-නොදන්න' ගොඩක් අය එවලා තිබුණා. (ඒ හැම එකක්ම එකාපර ලියලා හරින්න පුළුවන් ඒවා නෙවෙයි !!)
එතනින් මට 'මඟහැරුණු' කතාව ඇය 'දුරකතන ක්‍රියාකාරිනියක්' කියන එක. ඒ කතාව 'සහතික ඇත්තක්' වුණත් ගොඩක් දෙනෙක් 'ප්‍රසිද්ධියේ' කියා පාන කතාවක් නෙවෙයි.
ඇය 'දුරකතන' භාරව හිටියේ, අනුරාධපුර රෝහලේ 'සුළු සේවිකාවක්' විදිහට කටයුතු කරන සමයේ. (ඒ සන්දියේ ඇයට ප්‍රභූ පැලැන්තියේ සබඳකම් තිබුණේ නැහැ!)
සුප්‍රසිද්ධ 'ඥානක්කා' ගැන රටක්, ලෝකයක් කතා කරන තැනට ආවට පස්සෙත්, තවමත් ඈව 'ඉස් මුදුන්' තැනක තියාගෙන 'වන්දනා මාන' කරන පිරිස් නැතුවාම නොවේ. ඈ තරම් 'බලගතු ගැහැනියක්' නැතැයි කියන, ඈ තරම් 'විශ්මකර්ම ගැහැනියක්' නැතැයි කියන ඒ පැලැන්තියට 'උගත්-බුද්ධිමත්' කියන්නා වූ පිරිස්ද අයිතියි.
'ඥානක්කා' ලබා දුන්නා යැයි කියන 'රතුපැහැ' නූලට පින්සිදු වන්නට 'තනතුරු නම්බු නාම' සහ ඉන් එහා ගිය 'දේශපාලන වරප්‍රසාද' තමන්ට ලැබුණු බැව් තරයේ විශ්වාස කෙරූ 'බලවතුන්' බොහෝ දෙනෙකුද වුණා. ඔවුන් සැබැවින්ම ඥානක්කාගේ 'ගුප්ත බලය'ට වසඟව අන්ධව සිටීම අරුමයක් හෝ නොවේ.
'සාමාන්‍ය මනුස්සයා' අන්ත අසරණ වුණාම පමණක් 'දෙවියන් යැදීම' සිදු කළා වුණත්, දේශපාලන කරළියේ 'බලගතු' චරිත බොහෝමයක් 'දෙවියන්' යැදීම සිදු කළේ තම 'දේශපාලන අරමුණ' වෙනුවෙන් බැව් රහසක් නොවෙයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යනු, මෙවැනි 'නොපෙනෙන බලවේගයන්' තදින්ම විශ්වාස කෙරූ අයෙකු වුණා. දකුණු ඉන්දියානු පක්ෂයක විරෝධය මැද වුණත්, වරක් හිටපු ජනපතිවරයා 'තිරුපති වන්දනාවේ' යන්නේත් ඒ 'විශ්වාසය' තුළ එහෙම් පිටින්ම එළඹ සිටි නිස යි.
හිටපු ජනපති අත තිබූ 'වශී බෝලය' කාලයක් සමාජ මාධ්‍ය තුළ 'විශේෂ මාතෘකාවක්' බවට පත්වුණා ඔබට අමතක නැතුව ඇති. මහින්ද පමණක් නොව ඔහුගේ පුත් 'නාමල්' ද මෙම 'අමුතු උපකරණය' අත තබාගෙන සිටි අයුරු දැක ගත හැකිවුණා. සැබැවින්ම 'වශී බෝලය' යනු සියල්ලන් 'ආකර්ශනය' කරගැනීම වෙනුවෙන්ම වුණු 'නිමැවුමක්' ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නට වුණා. (මෙය සංස්කෘත භාෂාවේ හඳුනා ගැනෙන්නේ 'වජ්ර' කියන නමින්. මහින්ද විතරක් නෙවෙයි, වතාවක් මෛත්රීපාලගේ අතෙත් මේ 'උපකරණය' තිබුණා!)
'සුමනදාස', 'ගංඟා මෑණි' ඇතුළු 'මැජික්කරුවන්ගෙන්' පසුව ආ 'අලුත්ම වර්ෂන්' එක වූයේ 'ඥනක්කා' යි. ඇය වූ කලී පෙර කියූ සියලු දෙනාටත් වැඩියෙන්ම 'රට කරවන මන්තරය' දැන සිටින්නට ඇති බැව් මහින්ද මෙන්ම ගෝඨාභය ද සිතන්නට ඇති. එහෙයින් 'වැඩ කරන අපේ විරුවා' ගේ අත 'රත්පැහැ' නූලක් ගැට ගසන්නටත්, ඔහුගේ සියලු 'නැකැත් ශාස්ත්‍ර' කටයුතු සොයා බලන්නටත් 'ඥානක්කා' පෙරමුණ ගන්නට වුණා. ඥානක්කාට සැබැවින්ම 'රටට හොඳක්' කරන 'අරමුණටත්' වඩා තිබුණේ තමන්ට යමක් 'කරගැනීම' බැව් එතුමියගේ 'ඉතිහාසය' පිරික්සීමේ දී වඩාත් පැහැදිලි වනවා.
දේශපාලන 'බලවතුන්' තම දෙපා මුල දණගැස්වුවා පමණක් ම නොවෙයි, ඔවුන්ගෙන් සිතූ හැටියට මුදල් හරි හම්බ කරගන්නත් ඇයට හැකියාව ලැබුණා. එසේම එකී 'දේශපාලන ගැත්තන්' රටට ලෝකයට පෙන්වමින් ඈ තමන් වෙතට එන 'සාමාන්‍ය ජනතාව'ත් මිථ්‍යාව තුළ ගිල්වන්නට වුණා.
වරක් 'හමුදා ප්රදානියෙකුගේ' රැකවල් මැද 'ඥනක්කා' කොළඹ රටට පැමිණ තිබුණේ, රූපලාවන්‍ය කටයුත්තක් වෙනුවෙනු යි. (කියන විදිහට ඒ ඇවිත් තියෙන්නෙ නියපොතු හැඩ වැඩ කරගන්නලූ!)
එසේ පැමිණි ඈ, කොළඹ තරු පහේ හෝටලයක නවාතැන් ගෙන අනතුරුව, මෙරට ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියක් අතින් හැඩ වුණු බවත් ඒ සමයේ වාර්තා වුණා.
දැනට විපක්ෂයේ ක්‍රියාකාරිම 'චරිතයක' බිරිඳක් විසින් ඈව මෙසේ ගෙන්වූ බැව් සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නට වුණා. ඒ නමුත්, ඒ සියලු චෝදනා 'බොරු' යැයි කියමින් අදාළ 'දේශපාලකතුමා' නිවේදනයක් නිකුත් කරන්නටත් කටයුතු කර තිබුණා.
ඥනක්කාට රැකවල් දුන් ඒ 'දේශපාලකතුමා' කවුද ? ඒ ගැන ඉක්මණින් කියන්නම්. එතකන් 'අනුමාන කිරීම්' කරන්න ඔබට පුළුවන්.
ඥනක්කාගේ අද්භූත කතා වස්තුව මතු සම්බන්ධයි !!