සහල් ඇට මතුපිටක, පැන්සල් තුඩක සිතුවම් මවන අපූරු සිත්තරා: ක්ෂුද්‍ර සිතුවම් කලාවෙන් ලෝකයේ නම රැන්ඳූ අපේ නිර්මාණකරු
කලාව කියන්නෙ මහ අරුම පුදුම දෙයක්.
සමහර කලා නිර්මාණ තියෙනවා ''මේවා කොහොමද කළේ'' කියලා ඇස් අදහන්න බැරි.
එහෙම කලා නිර්මාණ එකතුවක් ගැන කියන්නයි අපේ මේ සූදානම.
කතාව කියන්න ඉස්සර අපි ඔබෙන් ඇහුවොත්, ''හාල් ඇටයක මතුපිට චිත්‍රයක් අඳිමුද '' කියලා. ඔබ මොකද කියන්නෙ.
එක පාරටම ඔළුවට එයි ''මොන විකාර ප්‍රශ්නයක්ද ඒක. හාල් ඇටයක මතුපිට කොහොමද චිත්‍රයක් අඳින්නෙ'' කියලා.
හැබැයි මේ සටහන මුල සිට අගට කියවන ඔබට හිතෙයි ''හිතුවොත් දෙයක් කරන්න බැරි නෑ'' කියලත්.
අපේ කතා නායකයා දයානන්ද ලොකුලියනගේ (Dayananda Lokuliyanage).
ඔහුගෙන් අර අපි ඔබෙන් ඇහුව ''හාල් ඇටයක මතුපිට චිත්‍රයක් අඳිමුද '' කියන ප්‍රශ්නෙ ඇහුවොත්, ඔහු අපෙන් අහයි මොකක්ද අඳින්න ඕනි කියලා.
ඒ විතරක් නෙවෙයි ඇස් අදහාගත නොහැකි, ''හාල් ඇටයක් මත කළ සියුම් සිතුවම්'' මහ හුඟක් සාක්ෂි විදියටත් අරන් ඒවි.
ලෝක ප්‍රකට චරිත, ලෝක ප්‍රසිද්ධ ස්ථාන හරි දක්ෂ විදියට, අදහන්න බැරි තරම් අපූරුවට ඔහු අතින් සිතුවම් වෙනවා.
හිතන්න අමාරුයි තමයි, නමුත් ඔහු එහෙම සිතුවම් කරනවා.
මේක හරි ජනප්‍රිය කලාවක්.
මේ කලාවට කියන්නෙ ''ක්ෂුද්‍ර සිතුවම් කලාව'' කියලා. එහෙමත් නැත්නම් Miniature arts, Micro Arts කියලා.
මේක ලේසියෙන් කෙනෙක්ට ප්‍රගුණ කරන්න පුළුවන් කලාවක් එහෙම නෙවෙයි. තනිකරම හැකියාව සහ දක්ෂතාවය එක්ක අසීමිත ඉවසීම කැටිකරගත්ත කලාවක්.
ඒ සියල්ලෙන් පරිපූර්ණ දයානන්ද ලොකුලියනගේ හාල් ඇට මත, පැන්සල් තුඩ මත අපූරු සිතුවම් නිමවනවා.
ක්ෂුද්‍ර කලා නිර්මාණ ලෝකයේ හරි ජනප්‍රිය කලාවක්.
නමුත් ඊට දක්ෂතා දක්වන පිරිස් හරි දුර්ලබයි.
සරලවම ක්ෂුද්‍ර කලා නිර්මාණ කියලා කියන්නේ සාමාන්‍ය කලා නිර්මාණයක් ඉතා සියුම්ව කුඩා පරිමාණයෙන් විවිධ ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් නිර්මාණය කිරීමක්.
ලෝකයේ ඊට දස්කම් දක්වන නිර්මාණකරුවන් ඉන්නෙ හරිම සීමිත ප්‍රමාණයක්.
කියන්න ආඩම්බරයි, අපේ රටේ ක්ෂුද්‍ර කලා නිර්මාණකරුවෙක් වන දයානන්ද ලොකුලියනගේ අන්න ඒ සීමිත පිරිසෙන් කෙනෙක්.
නිර්මාණාත්මක අතින් වගේම වාණිජමය පැත්තෙනුත් වටිනාකම් පිරුණු කලාවක් මේ ක්ෂුද්‍ර කලා නිර්මාණ.
සිත් ඇදගන්නා සුළු මෙම අපූරු කලාව සැබවින්ම විස්මිත එකක්. ලෝකයේ ප්‍රචලිත මෙය, ලංකාවට අලුත් දෙයක්.
සාමාන්‍ය ප්‍රමාණයේ වස්තුවක් කුඩා ආකෘති කැටයමක් බවට පත්කිරීම, සිතුවම් කිරීම, පින්තාරු කිරීම සහ වාත්තු කිරීම සරල කාර්යයක් නොවෙයි.
මොකද සාමාන්‍ය ප්‍රමාණයේ වස්තුවක සම්පූර්ණ ව්‍යුහයම ක්ෂුද්‍ර ප්‍රමාණයට පරිමාණය කර, ක්ෂුද්‍ර පෘෂ්ඨයක් මත කැටයම් කිරීමක්, සිතුවම් කිරීමක් මෙහිදී සිද්ද වෙන්නෙ.
එතැනදී කාලය, ඉවසීම සහ විශිෂ්ට කුසලතාවය කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක්.
ඉතින් ඒ විදියට දයානන්ද ලොකුලියනගේ කලාකරුවා අතින් සොබාදහම, සත්ත්ව රූප, මිනිස් රූප, ලෝක ප්‍රසිද්ධ ස්ථාන හරි අපූරුවට නිර්මාණය වෙනවා.
විශේෂත්වය කියන්නෙ ඔහුගේ තෝරාගැනීම් සරල ඒවා නොවීම.
නිකමට හිතන්න පැන්සල් තුඩක අලි රංචුවක්, මිනිස් රූපයක්, අයිෆල් කුළුණක්, දිය කිඳුරියක් නිර්මාණය කිරීම ගැන.
එතකොට හාල් ඇටයක මතුපිට ආගමික ශාස්තෘවරු, මොනාලිසා, විරාත් කෝලි, ජැක්සන් ඇන්තනී, ෂාරුක් ඛාන්, සනත් ජයසූරිය වගේ මිනිස් රූප සහ දිය ඇලි, වනාන්තර, සීගිරි චිත්‍ර, සත්ත්ව රූප වැනි දෑ නිර්මාණය කිරීම ගැන.
දයානන්ද කියන්නෙ එවන් සංකීර්ණ තෝරාගැනීම් එක්ක සිය කලාව ප්‍රගුණ කරන්නෙක්.
ඔහු කියන විදියට ස්වයං අධ්‍යයනයන් තුළිනුයි ඔහු මේ දස්කම් දක්වන්නෙ.
කලාව වගේම මෙහි තාක්ෂණික පැත්තකුත් තියෙනවා.
ඔහු භාවිත කරන තාක්‍ෂණික උපකරණය මයික්‍රොස්කෝප් (Microscope) එක. ඒ ද්‍රව්‍ය විශාලනය කර නැරඹීම උදෙසා. ඊට අමතරව ඔහු භාවිත කරන සියලු උපකරණ ඔහු විසින්ම සකස් කරගත් ඒවා බවයි දැනගන්න ලැබෙන්නෙ.
දයානන්ද ලොකුලියනගේ අතින් නිර්මාණය වන කලා කෘති වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්නෙ සමාජ මාධ්‍ය තුළ.
ගෙවුණු දවසක අප අතරින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාරුව ඊට සාක්ෂියි.
ඔහුගේ නිර්මාණ තුළ සැබෑ වස්තූන්හි දක්නට ලැබෙන සියුම් දෑ පවා දක්නට ලැබීමයි විශේෂත්වය.
ඕනෑම දෙයකට තියෙනවා ඊට නියමිත වටිනාකමක්.
මේ හැකියාවත් එක්ක මෙවන් නිර්මාණවලට නම් අසීමිත වූ වටිනාකමක් ලැබිය යුතුයි කියන කතාව ඔබත් එක හෙළාම පිළිගනියි කියලා අපි හිතනවා.
වාර්තා වන හැටියට දේශීය ගැනුම්කරුවන්ට වඩා විදේශීය ගැනුම්කරුවන් අතරෙයි, මේ ක්ෂුද්‍ර කලා නිර්මාණ වඩාත් ජනප්‍රිය.
පහතින් දැක්වෙන්නේ සහල් ඇටයක මතුපිට ඔහු කළ නිර්මාණවලින් කිහිපයක්.
මේ පැන්සල් තුඩුවල ඔහු කළ නිර්මාණ.
Dayananda Lokuliyanage ෆේස්බුක් පිටුවට ගියොත් තවත් සෑහෙන නිර්මාණ ඔබට දැකබලා ගන්න පුළුවන්.
මෙවන් හැකියාවන්ගෙන් පිරුණු නිර්මාණකරුවන් රටට සම්පතක් බවත් කිවයුතුමයි...