වන්දි දුන්නාට වැඩක් නැහැ: සල්ලි කන්න බැහැ

MonaraMonara

නියඟය හේතුවෙන් වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවේදී මේ පිළිබඳව අනාවරණය වූ අතර වී වගාවට හානි වූ ගොවි ජනතාවට යම් වන්දි මුදලක් ලබා දීමට සිදු වනු ඇති බවට එහිදී ගොවි නියෝජිතයන් අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතාට උපදෙස් ලබාදී ඇත්තේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණයවන පරිදි නියඟය නිසා වගාවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙක් තක්සේරු කිරීම ආරම්භ කරන ලෙසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වන විට වී, මිරිස්, බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල් සහ ලොකු ලූනු සඳහා කාලගුණික හේතුන් නිසා සිදුවන වගා හානිවීමකදී නොමිලේ රක්ෂණාවරණයක් ලබාදීම සිදුකෙරෙනවා.

අක්කරයකට රුපියල් 40,000 බැගින් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් මෙමගින් ලබාදෙන අතර මෙම මුදල ලබාදෙන්නේ කිසිදු දායක මුදලක් ලබාගැනීමකින් තොරවයි. රුපියල් 6400ක දායක මුදලක් ගෙවීම මගීන් අක්කරයකට රුපියල් ලක්ෂයක් සහ හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙක හමාරක් බැගින් මුදලක් ලබාගැනීමට මෙමගින් පහසුකම් සලසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” මෙම වගා හානි ලබා දීම කිසිසේත්ම ප්‍රමාණවත් යැයි මම සිතන්නේ නැහැ. ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් එක් වතුර මුරයක් හෝ ලබා දුන්නොත් දැනට හානි වී තිබෙන ගොයම්වලින් සියයට 60ක් පමණ බේරා ගත හැකියි. ජලය ලබා දීමේ ප්‍රමුඛත්වය දෙස බලන විට පළමු ප්‍රමුඛත්වය විදුලි උත්පාදනයට ලබා දෙන්නේ නැහැ. ඒ අනුව මේ වෙලාවේ කළ යුත්තේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීමයි. එසේ නොකර වන්දි දුන්නට ගොවි ජනතාවට සතුටක් නැහැ.

ගොවීන්ට වන්දි දුන්නට මුදල් ආහාරයට ගන්න බැරි බව හැමෝම දන්නවා. ආහාරයට අවශ්‍ය බත්. එහෙම නම් අපි වී වගාවට මේ වෙලාවේ සමනල වැවේ ජලය නිකුත් කළ යුතුමයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.

ඒ වගේම හානියට පත් වන වී වගාව සඳහා දැනට ලබා දෙන වන්දිය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා එම වන්දි මුදල වැඩි කළ හැකිදැයි සොයා බලන ලෙස මම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනවා.

2022 වසරේ වගා හානි සඳහා මෙම මණ්ඩලය විසින් රුපියල් මිලියන 1700කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා. ඒ අනුව මෙවර සිදුව ඇති වගා හානි සඳහා කොපමණ මුදලක් අවශ්‍යදැයි හිතාගන්නවත් නොහැකි යැයි” ද අමාත්‍යවරයා සඳහන් කළා.