උඩවලව ජලාශයේ මත්ස්‍ය අස්වැන්න සරුවෙයි – ඉකුත් දින දෙකට එක්කෝටි නව ලක්ෂයක මත්ස්‍ය අස්වැන්නක්

උඩවලව ජලාශයෙන් පසුගිය මැයි 9 සහ 10 යන දින දෙක ඇතුළත පමණක් කිලෝග්‍රෑම් 35,000කට වැඩි දැවැන්ත මත්ස්‍ය අස්වැන්නක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසනවා.
එම මත්ස්‍ය අස්වැන්නේ වටිනාකම රුපියල් එක්කෝටි නව ලක්ෂ නව දහස් තුන්සිය අනූ තුනක් ලෙස ගණන් බලා තිබෙනවා.
බලන්ගොඩ සහ උඩවලව ජලාශයට ජලය ලැබෙන ඉහළ ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාම මෙම විශාල අස්වැන්නට ප්‍රධාන හේතුව බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.
මෙහිදී කැට්ලා මත්ස්‍ය කිලෝග්‍රෑම් 27,030ක්, මිරිගාල් කිලෝග්‍රෑම් 7,430ක් සහ තිලාපියා කිලෝග්‍රෑම් 1,009ක් අල්ලාගෙන තිබෙනවා.
අල්ලාගත් මසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කරවල නිෂ්පාදනය සඳහා මීගමුව ප්‍රදේශයට යැවීමටත් පියවර ගෙන තිබෙනවා.
මෙම අස්වැන්න හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයින් 313 දෙනෙකුට සෘජු ආදායම් ලැබී ඇති අතර, තවත් පුද්ගලයින් 1,650කට පමණ වක්‍ර රැකියා අවස්ථා හිමිව තිබෙනවා.
එමෙන්ම අඩු මිලට නැවුම් සහ ගුණාත්මක මිරිදිය මසුන් ජනතාවට ලබාදීමටත්, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමටත් මෙය උපකාරී වී ඇති බව අධිකාරිය පවසනවා.
මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මේ වසර තුළ උඩවලව ජලාශයට මිරිදිය මත්ස්‍ය පැටවුන් ලක්ෂ 24ක් මුදා හැරීමටද සැලසුම් කර තිබෙනවා.
