ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම්වලදී ප්‍රමාණාත්මක අවශ්‍යතාවන්ට වඩා ගුණාත්මක භාවය කෙරෙහි අවධානය
රටේ ආරක්‍ෂක හමුදාවන් නවීන තාක්‍ෂණයන් සහ යුද්ධොපකරණ සමඟින් නවීකරණය කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනවා.
ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පළකර තිබුණේ පසුගියදා, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ වර්ණවත් නාවික හමුදා විසිර යාමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කර තිබුණේ, රටේ ආරක්‍ෂක අංශ සතු මූලික කාර්යභාරය වන දේශයේ ආරක්ෂාව සඳහා පමණක් ආරක්‍ෂක හමුදා යොදවන බවට සහතික වන බවයි.
එමෙන්ම ත්‍රිවිධ හමුදාවන් සතු මානව හා භෞතික සම්පත් ප්‍රශස්ත අන්දමින් භාවිතා කිරීම සහතික කිරීම මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සන්නද්ධ හමුදා ව්‍යුහය සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කර තිබුණා.
මීට අමතරව ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීම සහ පිරිස් තෝරාගැනීමේදී ප්‍රමාණාත්මක අවශ්‍යතාවන්ට වඩා ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි සම්පත් තුයියකොන්තා මහතා අවධාරණය කර තිබුණේ.
මෙලෙස පැවති නාවික සාම්ප්‍රදායානුකූල රාත්‍රී විසිර යාමේ පෙළපාලියේදී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 38 වන සහ 39 වන කණ්ඩායම්වලට අයත් කැඩෙට් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවික බඳවාගැනීම් 1/2023 කණ්ඩායමට අයත් කැඩෙට් නිලධාරීන් 13 දෙනෙකු සිය පාඨමාලාවන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව විසිර ගිය අතර මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් පුහුණු කාලය තුළ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැක්වූ සුවිශේෂී දක්ෂතාවන් වෙනුවෙන් අභිනව අධිකාරී ලත් නිලධාරීන් කිහිප දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ද සිදු කරනු ලැබුවා.
ගරුතර මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකවරුන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින් සහ විසිර යන නිලධාරීන්ගේ ඥාතීන් ද විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.