ඌව පළාත් ක්‍රිකට් තරගාවලියේ මොනරාගල රණමයුර ක්‍රීඩා සමාජයට ජය

ඌව පළාත් ක්‍රිකට් තරගාවලියේ මොනරාගල රණමයුර ක්‍රීඩා සමාජයට ජය

(බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන/ ළහිරු ගුණතිලක මොනරාගල)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් වටයේ 3 පෙළ තරගාවලිය යටතේ ඌව පළාත් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් පසුගියදා පැල්වත්ත සීනි සමාගම් ක්‍රීඩාංගණයේ පැවති සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය සඳහා බදුල්ල පීල්ලකඩේ, මොනරාගල රණමයුර හා රත්නපුර රන්මුතු යන ක්‍රීඩා සමාජවල කණ්ඩායම් සහභාගී වූ අතර අවසන් මහා තරගයේදී රත්නපුර රන්මුතු ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට මොනරාගල රණමයුර ක්‍රීඩා සමාජය සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රත්නපුර රන්මුතු කණ්ඩායම පන්දුවාර 47කදී කඩුලු 9ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොනරාගල රණමයුර කණ්ඩායම පන්දුවාර 40.5කදී කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලැබීය.
හොඳම පිතිකරු ලෙස මොනරාගල රණමයුර කණ්ඩායමේ චමින්ද රණවීර සහ හොඳම පන්දු යවන්නා ලෙස රත්නපුර රන්මුතු කණ්ඩායමේ ඉශාන් චානක හා තරගයේ වීරයා ලෙස මොනරාගල රණමයුර කණ්ඩායමේ ඩිශාන් සඳරුවන් සම්මාන හා මුදල් ත්‍යාග දිනා ගත්තේය.

Share This